Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts
Friday, September 23, 2011
අතුරුදන් වීම
කැන්ටිමට එන කොට එකත් පහු වෙලා. ඉස්කෝලෙ ඇවිදල ඇවිදල මාර මහන්සියි. කැන්ටිමේ අන්තිම බත් එක අරගෙන කන්න ලෑස්ති වුණා විතරයි කුමරි ඇවිත් අහන්න ගත්ත දිනුක කෝ කියල. මම ඉතින් ආපු ගමන් හින්ද බත් කටක් කටේ තියාගෙනම මම ගත් කටටම දන්නෑ කිව්ව.කුමරි අනික් පැත්තට ගස්සල යන ගමන් කියාගෙන ගියා අන්න ලකුණු දාල කියල. මමත් ඉතිං පුළුවං ඉක්මනට කෑම එක කාල උඩට දිව්ව ලකුණු බලන්න. මම නම් පාස්. ඒත් ලකුණු හරිම විකාර විදිහකට තියෙන්නෙ. පනස් ගානක් ෆේල්. මම ලකුණු බලල ආයෙ පහළට එන්න ගත්ත විතරයි විකිය කෝල් කරල අහන්න ගත්ත දිනුක ව දැක්කද කියල. මම ඌටත් නෑ කියල කෙටියෙන් උත්තර දුන්න. ආයෙ පහළට බැස්ස ගමන් කොහෙන්දෝ කඩා පාත් වෙච්ච කළුව ත් ගත් කටටම ඇහුවෙ දිනුක කෝ කියල. මට එපා වුනා. කරදරේ. කළුවට උත්තර දෙන්නෙ නැතුව මම දිනුකට කෝල් එකක් ගත්තෙ හොඳවැයින් දෙකක් තුනක් කියන්න. ඒත් ඩයල් කරන කොටම හච් එකේ අක්ක කියන්න ගත්ත ප්රතිචාරයක් නොමැත කියල. මොන මඟුලක්ද, ඕක ඔය වගේ වැඩ කරනව, ගෑණි එක්ක බුක් ෆෙයා යන්න ඇතිය කියල මම කළුවට විස්තරේ කියල මාරු වුණා බැට් එකක් දෙන්න තිබ්බ හින්ද.
රෑ මම බැට් එක ඉවර කරල රෑ කෑම ගන්න යනකොට තමයි ඊළඟ කෝල් එක ආවෙ. පේරාදෙණියෙන්. වැඩේ ටිකක් බරපතලයි වගේ. මූ කොහේ මකබෑවිලාද? ගෙදර වත් ගිහිල්ලද බලන්න ඕනෙ හින්ද මම විකියට කෝල් කරා ගෙදර නොම්මරේ තියෙනවනම් කතා කරල බලන්න කියන්න. මම කෑම අරන් එන කොට විකිය ආයෙ කෝල් කළා. ගෙදර මිනිස්සු හිතන්නෙ ඌ තාම මෙහෙ කියලලු. විකිය යි සිතුමයි උගෙ අනිත් යාළුවන්ට කෝල් කරල බලන්නම් කිව්ව, ඌ එහෙම කොහෙ හරි වත් ගිහිල්ලද බලන්න. මම තවත් පාරක් දිනුකගෙ නොම්මරේ ඩයල් කලා. තාමත් හච් එකේ අක්ක තමයි කතා කරන්නෙ. මම එහෙමම බුවා ටයි කළුවටයි සිද්දිය කිව්ව. උනුත් කිව්වෙ හෙට කොහෙන් හරි ආරංචියක් හම්බවෙයි කියල.
පහුවදා උදේ මම නැඟිටින්න පරක්කු වුණා. වැඩට යනකොටත් පරක්කුයි. ඒ අස්සෙ ඊය ගියෙ නැති එකටත් කේස් එකක් වැටිල. ඔය ජරමර අස්සෙ මට දවල් වෙනකන් විස්තර මුකුත් හොයන්න හම්බුනේ නෑ. දවාලෙ තිබ්බ පැමිණීම අනිවාර්ය කුකක්රි එකකට ත් මිනිහ ඇවිල්ල නෑ. මේ වෙනකොට හැබැයි හැමෝම කතා වෙනව දිනුක ජයකොඩි ගේ අතුරුදන් වීම ගැන. දැන් පැය විසිහතරක් පැනල හින්ද බුවා ල කට්ටිය බොරැල්ල පොලීසියෙ පැමිණිල්ලක් දාල ආව. ඒත් පොලිසියෙන් වැඩි දෙයක් බල්ලපොරොත්තු වෙන්න බැහැ කියල මතයක් ලොකුවට පැතිරෙන්න අරන්. ඒකට ප්රධාන හේතුව අපේ ප්රධාන සැකකරු, එස්. බී.. අපේ සටන වෙනුවෙන් රජය ට බිලි වුණු වීරයෙක් කියල තමයි නිල වශයෙන් කතාව පැතිරෙන්නෙ.
දවස් දෙකක් ගියෙ නෑ, අභිරහස් ලෙස අතුරුදන් වූ දිනුක ජයකොඩි ගේ අනුවේදනීය කතාව කණා මැදිරි රාත්රියෙත් කියන්න ගත්තා. රට පුරාම එක එක මත පැතිරෙන්න ගත්තා. ඒත් ඇත්තටම මොකද වුණේ කියල කවුරුවත් දැනන් හිටියෙ නෑ.
කට්ටිය එක එක මත ඉදිරිපත් කළා. ආණ්ඩුවෙන් කිව්වේ මේක ශිෂ්ය සංවිධාන වල කුමන්ත්රනයක් කියල. මෙලහකට මිනිහ නොර්වේ වල සැප ගන්නවා ඇති කියල. ශිෂ්ය සංවිධාන වලින් කිව්වේ මේක ආණ්ඩුවේ පැහර ගැනීමක් කියල. ආණ්ඩුවේ මැරයෝ තිරිසන් වධ දෙනවා ඇති කියල. ඒ දවස් වල හොස්ටල් එක ගාව නවතාල තිබ්බ සුදු වෑන් එකක් ගැනත් ලොකු සැකයක් තිබ්බ. අපේ පාලක පන්තියෙන් මේ ගැන කිසිම නිල ප්රකාශයක් නිකුත් කලේ නැති වුනත් තැන තැන කතා වෙන දේ වලින් අපිට තේරුනේ මේ ගැන ඒ අය සතුටු වෙනව කියලයි.
අපි කළු පටි බැන්ද. ඉස්සරහ ගේට්ටුව ගාව තව උද්ගෝෂණයක් කලා. මාධ්ය සාකච්චාවක් තිබ්බා.ලොකු ෆොටෝ එකක් කොමන් රූම් එකේ එල්ලලා ගුණ නුගුණ සිහි කරා. රටේ හැමෝම කතා කරන මාතෘකාවක් කළා. ඒත් කිසිම ආරංචියක් ලැබුනේ නෑ .
දවස් තුනක් යද්දි හැමෝටම ඔක්කොම අමතක වුණා. කණාමැදිරි රාත්රියෙන් වෙනත් අවාසනාවට ඇත්ත කතාවක් කියන්න ගත්තා. මිනිස්සු වෙන වෙන දේවල් ගැන කතා කරන්න ගත්තා . අපිට කළු පටි බඳින එක තහනම් කරලා වැඩට යන්න කිව්වා. දවස් දෙක තුනකට පස්සේ අපිත් ආයෙ පාඩම් කරන්න පටන් ගත්තා . ලෝකේ දිගටම කැරකුනා.
ටික දවසකට පස්සේ ආරඔචියක් ආවා. ආරුක්කු නවයේ පාලම උඩ නිකමට නතර වුන කෝච්චියක හිටපු අය පාලම අයිනේ අමුත්තක් දැකල හොයල බලල තියෙනවා. එතන ලස්සනට පිළිවෙලට එක පේලියට ෆෝන් එකකුයි පර්ස් එකකුයි ලෙන්සුවකුයි තිබිල තියෙනවා. වෙලාවට ඒ ටිකේ වැහැල නෑ. තුනම අපේ දිනුක ජයකොඩි ගේ. ෆෝන් එකේ සිම් එක තිබුනට අනික් හැම දෙයක්ම මකලා. පර්ස් එකේ රුපියල් 200ක් තිබිල තියෙනවා. අනික් දේවල් එහෙමම තිබිල තියෙනවා. ලේන්සුවේ ලොකු නිල් තීන්ත පැල්ලමක් තිබිල තියෙනවා.
ඕක තමයි දැනට කතාව. ඒත් ඉස්සරහට තව මොනව දැන ගන්න ලැබෙයි ද දන්නෙ නෑ.
මෙහි සඳහන් නම් ගම් හා සිද්ධි මනඃකල්පිතයි
Saturday, July 30, 2011
ජීවින ගමන
හැම කන්දක් ම
නඟින කං කිව්වෙ
"මේක විතරයි" කියල...
දැන්,
මුදුනට ම ආව ම
තවත් කඳු නම් නෑ...
ඒත් දැන් කියනව
බහින්න තියෙනව කියල....
Friday, July 22, 2011
හෘද සාක්ෂිය

මොන වැඩේ කරන්න ගත්තත්
මොකක් හරි අවුලක් පෙන්නන්නෙ...
ඕන එකටයි එපා එකටයි හැම එකටම කෑ ගහන්නෙ...
හොඳ නරක මට තේරෙනවා
කියන්න කටක් නොතිබ්බට එනවා මෙතන සාක්කි දෙන්න...
දැන් වත් වහනව කට...
පටු
"අර ගහ ගාව
බංකුවෙ ඉන්නෙ..."
"ඉතින්...?"
"මම බලාගෙන හිටිය,
හැමදාම තනියම ඔතන ...
අර ළමයි සෙල්ලං කරනවා බලාගෙන ඉන්නෙ...
මට මිහිහව සැකයි.
මොකෙක් හරි අපචාර කාරයෙක් ද දන්නෙ නෑ."
"නෑ... නෑ... මිනිහ නරක මනුස්සයෙක් නෙමෙයි."
"කොහොමද එහෙම කියන්නෙ...?
මට නම් මිනිහව තඹේකට විස්වාස නෑ...
පේන්නෙ නැද්ද මූණෙ හැටි..."
"නෑ... නෑ... මම මිනිහ ත් එක්ක කතා කරල තියෙන ව...
දවසක් වහින වෙලාවක අපි දෙන්න ම දුවගෙන බස් හෝල්ට් එකට ආව.
එදා හොඳටම වැස්ස...
ඉතිං කම්මැලි කම යන්නත් එක්ක අපි කතාවට වැටුන..."
"ඉතින් මිනිහ මොකද කිව්වෙ...?"
"මිනිහ ඉන්නෙ තනියම...
මිනිහට ත් අපේ වයසෙ දුවෙක් හිටිය ලු..."
"හිටිය ලු කිව්වෙ?"
"මොකක් ද ලව් කේස් එකකට දිවි නහ ගත්තලු"
"නෑ... මිනිස්සු එච්චරම මෝඩ ද?"
"මිනිහ ගෙ නෝනත් නැතිවෙලා.
ගෙදර සොහොනක් වගේ පාලුයි ලු...
ඒ හින්ද හැමදාම පාක් එකට ඇවිල්ල ළමයි සෙල්ලම් කරනවා බලන් ඉන්නව ලු...
හිතේ සංතෝසයක ට තියෙන්නෙ එච්චරයි ලු."
"පව්..."
"ඔව් පව් තමා.."
Monday, June 20, 2011
වැද්දගෙ කතාව
ඒ වෙලාවෙ දමල ගහල ආවට මොකද,දැන් නම් හිතට මොකක්ද වගේ..
මොනා වුණත් ලස්සන කෙල්ල.
මේ කැලේ ඔහොම එකක් ආයෙ කොහෙන් හොයන්නද..
ඒකි මොන එහෙකටද මට බොරු කිව්වෙ,
කඩුව දුන්නෙ එයයි කියල,
මට ඌරු ජුවල් නැග්ගා.
ඒත් දැන් තමයි තේරෙන්නෙ
ඒකිටත් වෙන කියන්න දෙයක් නොතිබ්බ බව...
මගෙ වැරැද්දකුත් නෑ.
ඒකි මොනා කිව්වත් අරූ ලෑස්ති වුණේ මාව මරන්න
මම වෙන මොනා කරන්නද..
වෙච්ච දේ වෙලා ඉවරයි...
Subscribe to:
Posts (Atom)
