Friday, May 10, 2013

හරස් කඩ 3



පහුගිය ලිපි වලින් අන්තර්ජාලය සහ මිනිස් හැසිරීම් රටාත්, සංස්කෘතියේ ගතික ස්වභාවයත් ගැන ඉතාම කෙටියෙන් අපි සලකා බැලුවා. මේ උත්සහ කරන්නේ තවත් කතා කරන්න අකමැති  මාතෘකාවක් ගැන කතා කරන්න. ලිංග භේදය.
මිනිස් සමාජයේ ප්‍රධාන දෙබෙදුම. පිරිමි සහ ගැහැණු. එත් මේ දෙකොටසටම අයිති නැහැයි කියන කට්ටියත් ඉන්නවා කියල කියනවා නේද? එතකොට අර ලස්සන දෙබෙදුමට මොකද වෙන්නේ? මේ ගැන ටිකක් හොයල බලන එක වටිනවා.
මේ පටන් ගන්න හදන්නේ පොඩි ජීව විද්‍යා පාඩමක්. සමහරු නම් මේ කියන ඒවා දන්නවා ඇති. 

මුලින්ම කියන්න තියෙන්නේ අපේ මේ ශරීර ඔක්කොම හැදිලා තියෙන්නේ සෛල වලින්. මේ සෛල ඇතුලේ තියෙනවා න්‍යෂ්ටිය කියල විශේෂ කොටසක්. න්‍යෂ්ටිය තමයි සෛලය පාලනය කරන මොළේ.[1] මේක ඇතුලේ තියෙනවා එක එක විදිහට දඟර වැටුණු DNA කියන කාබනික රසායනික අණුව. අපි හැමෝගෙම සෛල ඇතුලේ මේ DNA  කෑලි 46ක් තියෙනවා. 23ක් ආවේ අම්මගෙන්. ඉතිරි 23 තාත්තාගෙන්. අපේ ඇඟේ සෛල ට්‍රිලියන ගානක් තිබුනට ඒ හැම සෛලයකම තියෙන්නේ එකම DNA ටික,කිසිම වෙනසක් නැතුව.  දැන් මේ කෑලි  46 අම්මගෙන් ආපු එකයි තාත්තාගෙන් ආපු එකයි කියල ජෝඩු කරපුහවම ජෝඩු 23ක් හදන්න පුළුවන්. අපි එක ජෝඩුවකට නමක් දෙනවා X සහ Y කියල. X හැම තිස්සෙම අම්මගෙන්. Y තාත්තාගෙන්.

දැන් 46 සෙට් එකක XX තිබුනොත් එයා ගැහැණු කෙනෙක්. සෙට් එකේ XY තිබුනොත් පිරිමි කෙනෙක්. මේකට අපි කියනවා ජානමය නැත්තම් වර්ණදේහමය ලිංගය කියලා. [2] හරි සරලයි නේද?
එතකොට ඩිම්බ සෛලයකට[3] ශුක්‍රාණු සෛලයක්[4] හම්බවෙනකොටම වර්ණදේහමය ලිංගය තීරණය වෙලා ඉවරයි. 

මේ XX හරි XY හරි, ඊට පස්සේ කළලයේ අභ්‍යන්තර ලිංගේන්ද්‍රිය තීරණය කරනවා. හැම කලලයක්ම මුලින් ම හැඩ ගැහිලා තියෙන්නේ ගැහැණු විදිහට වර්ධනය වෙන්න. එත් Y තියෙනවනම් පිරිමි විදිහට වර්ධනය වෙනවා. වෙන විදිහකට කිව්වොත් Y තියෙනවානම් කලලයේ වෘෂණ කෝෂ වර්ධනය වෙනවා. Y නැත්තම් ඩිම්බ කෝෂ වර්ධනය වෙනවා.[5]

ඊළඟට තියන්නේ බාහිර ලිංගේන්ද්‍රිය වර්ධනය. වෘෂණ කෝෂ ශ්‍රාවය කරන හෝමෝන නිසා පුරුෂ ලිංගයත් ඒ හෝමෝන නැතිනම් ස්ත්‍රී ලිංගයත් වර්ධනය වෙනවා. කලිනුත් කිව්වා වගේ කොහොමත් ගැහැණු වෙන්න තමයි අපි හැඩ ගැහිලා තියෙන්නේ. බබා ඉපදුනහම කට්ටිය බලන්නේ මේ බාහිර ලිංගේන්ද්‍රිය තමා.[6]

හරි. මේ ඔක්කොටමත් පස්සේ තියෙනවා සමාජය විසින් තීරණය කරන ලිංගය. ඒක සංස්කෘතිය මත තීරණය වෙනවා. ඒ කියන්නේ සමාජය පිරිමි කියල සලකනවානම් ගැහැණු කෙනෙක් වුනත් සමාජයේ පිරිමියෙක් විදිහට පිලිගන්නවා කියන එක. [7]

දැන් කියන්න ඕනේ මේ විස්තර කරපු හැම පියවරකම වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා උදාහරණයක් විදිහට බාහිරින් ගැහැණු එත් ජානමයව පිරිමි අය ඉන්නවා. මේ වගේ උදාහරණ ගොඩක් තිබ්බත් අපේ සමාජය මේ ඔක්කොම එක්කෝ ගැහැණු එක්කෝ පිරිමි කියලා බෙදල වෙන් කරනවා.

 මේ අපි කතා කලේ ලිංග භේදයේ ජීව විද්‍යාත්මක පැත්ත. 
ඉඩ තියෙන විදිහට සමාජයේ මේ ගැන තියෙන ආකල්ප ගැනත් සලකලා බලමු.

[1]. මෙහෙම කිව්වට මේක හරිම සංකීර්ණ ඒ වගේම ලස්සන ක්‍රියාවලියක්. මෙන්න විකිපීඩියා ලිපියක්.
[2]. ඉංග්‍රීසියෙන් කිව්වොත් Genetic  Sex 
[3].ගැහැණු ජන්මාණු සෛල. ඒ කියන්නේ ප්‍රජනනය සඳහාම විශේෂයෙන් හැඩගැහුණු සෛල.
[4]. පිරිමි ජන්මාණු සෛල.
[5]. Gonadal Sex
[6]. Genital Sex
[7]. ඉංග්‍රීසියෙන් sex සහ gender කියලා වචන දෙකකින් මේ සංකල්ප දෙක වෙන් කෙරුණත් අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ මේක ටිකක් පැටලිලි සහගතයි.
පුමිතිරිබව කියන වචනය අහල ඇති.

සහෘද

එක ම 
සංඛ්‍යාතයක 
ස්පන්දනය
වුවත් 
අනුනාද වීමට නොහැකි
සමමිතික
හදවත්
.
.

එක ම 
සංඛ්‍යාතයක 
ස්පන්දනය
වුවත් 
අනුනාද වීමට නොහැකි
සමමිතික
හදවත්

.
.

එක ම 
සංඛ්‍යාතයක 
ස්පන්දනය
වුවත් 
අනුනාද වීමට නොහැකි
සමමිතික
හදවත්

.
.
එක ම 
සංඛ්‍යාතයක 
ස්පන්දනය
වුවත් 
අනුනාද වීමට නොහැකි
සමමිතික
හදවත්


විදුරු

නමන්නට
තැනූ විට
බිඳුනත් 
විදුරු
කාමර උෂ්නතවයේදී ත්
අස්ඵටිකමය ද්‍රවයකි
කාලයත් සමග ම 
ගලා යන...
.........
....
.

තෘප්තිය

තෘප්තිය ...

බොහෝ කලකට පසුව 
ජීවිතයත් මරණයත් අතර 
වේගයෙන් ඉදිරියටම ඇදුනු
දුර ගමන් බස් රියක
මහා සෙනඟ මැද තනිවම 
ඉදිරිපසම අසුනේ
මැද අයිනට වී 
අසුන් ගෙන සිටි මට
.
.
හමුවිය
පැය කිහිපයකට...

Friday, May 3, 2013

වැස්ස

සිව් දෙසින් 
එකතු  වෙන 
මහා කළු වලාකුළු 
වසා මුළු අහසම
අන්ධකාරය පතුරනා 
විදුලි එළියෙන් 
මේඝ ගර්ජනාවෙන්
නොකඩවා ඇදහැලෙන 
මහා වර්ෂාවෙන්
අවදි විය
මතකයක්

බොහෝ කලකට පෙර
ඇද වැටුණු
අසනි වරුසාව
ඉඩෝරය නිමා කල මුත්

කාලය
නිරුදක කතර
මැද
නැවතිණි.... 


Wednesday, May 1, 2013

හරස් කඩ 2



මීට කලින් ලිපියෙන් දැනට පවතින සමාජ වාතාවරණය ට හේතු වෙච්ච facebook ගැන කෙටියෙන් සඳහන් කළා. ඒ අපේ ඊළඟ සංවාදයට පසුබිම සකස් කර ගන්නයි. 

දැන් අපි උදාහරණයක් බලමු. මෙතැනදී මම මගේ මතය ප්‍රකාශ කරනවා වෙනුවට අපි එල්බ  ගෙන ඉන්න මත ගැන විවෘත සංවාදයක් ගොඩ නගන්න මම උත්සහ කරනවා.. එත් මේ ලියන්නේ මම නිසා මගේ දෘෂ්ටි කෝණයෙන් ගොඩක් දේවල් මැනෙන බව මුලින්ම කියල ඉන්න ඕනේ. අපිට 100%ක්  අපේ සංකල්ප වලින් වියුක්ත වෙන්න බෑනේ.

සංස්කෘතිය. මේ දවස් වල හැමතැනම ඇහෙන වචනයක්.  එත් මෙච්චර මේ කියවන්නේ මොකක් ගැනද කියල පොඩ්ඩක් හොයල බලන එක වටිනවා. ඉතින් ඕනෑම දෙයක් ගැන හොයන්න අපිට උදව් කරන ගූගල් සංස්කෘතිය ගැන සිංහල විකිපීඩියා ලිපිය හොයල දුන්නා. මේ එකෙන් ගත්ත නිර්වචනයක්.


සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත් පරිණතවූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.” -බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී.ටයිලර් (1861)

Culture කියන වචනය ගූගල් අර්ථ දක්වන්නේ මෙහෙමයි.

Noun
The arts and other manifestations of human intellectual achievement regarded collectively.

නාමපදය: සමස්තයක් ලෙස ගන්නා ලද මානව ප්‍රඥාවේ ජයග්‍රහණ වන කලාව සහ අනෙකුත් ප්‍රකාශන වල එකතුවයි.

කෙටියෙන් කියනවනම් මේ කියන්නේ සමාජයක් විදිහට අපි අපේ ලෝකය දිහා බලන හැටි ගැනයි.
මෙතැන තවත් කාරණයක් ඉස්මතු කරන්න ඕනේ. ඒ සංස්කෘතිය සමාජයක් ඇසුරෙන් තමා අර්ථ දැක්වෙන්නේ.

එතකොට සමාජය කියන්නේ මොකක්ද? සිංහලවිකිපීඩියා ලිපියේ පැහැදිලි නිර්වචනයක් නැති  වුනත් මේ උපුටා ගැනීම සාධාරණයි කියල මම හිතනවා.

සමාජය වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි...” “ ...පුද්ගලයන් අතර වර්ධනය වන සමාජ සමිබන්ධතාවල එකතුවක් ලෙස සමාජය සැලකිය හැකි බවය

මෙතැනදී ත් ඉස්මතු කරන්න ඕනේ කාරණයක් තියෙනවා. සමාජය ගතික ප්‍රපංචයක් කියන සංකල්පය.

හරි. අපි මෙච්චර වෙලා අපි මේ කතා කරන්නේ මොකක් ගැනද කියල පැහැදිලි කර ගැනීමක් කලේ. මම කලින් කියල තියෙනවා වගේ අපි කතා කරන්නේ මොකක් ගැනද කියල ඉස්සෙල්ලම නිරවුල් කරගන්න ඕනේ. මේ ගැන වැඩි දුර කියවන්න මම විකිපීඩියා ලිපි එකතු කරලා තියෙනවා.

අපිට හැමදාම ඇහෙන දෙයක් තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ වෙනවා/කරනවා කියන එක.
මොකක්ද මේ කියන්නේ? සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ මොකක්ද? සංස්කෘතියක් විනාශ කරන්න පුලුවන්ද?

සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කතා කරන්න කලින් අපි අපේ රට ගැන කතාකරන්න ඕනේ. ලංකාව දූපතක්. පොඩිකාලේ ඉඳල පුංචි අපේ රට කියල කිව්වට ලංකාවට වඩා ලොකු දූපත් තියෙන්නේ 24යි. අනික් එක ලංකාව ඉන්දීය අර්ධද්වීපයේ මහද්වීපික තටකයේ ම  තමයි පිහිටලා  තියෙන්නේ. ඒ කියන්නෙ මේ ලා නිල් පාට නොගැඹුරු මුහුද. මේ නිසා ප්‍රථමික මුහුදු යාත්‍රා වලින් වුනත් පහසුවෙන් ඉන්දීය අර්ධද්වීපය එක්ක අපිට ගනු දෙනු කරන්න පුළුවන්. 


මේ කරණා නිසා ලංකාව හරිම විශේෂ දූපතක්. ඉන්දීය ආභාෂය ලබන්න තරම් ලඟින් හිටියත් අපි දූපතක් නිසා ඉන්දියාවෙන් වෙන් වෙලා ඉන්න පුළුවන්. ගහ කොළ සතා සිව්පාවා දිහා බැලුවොත් මේ බව අපිට හොඳට පැහැදිලි වෙනවා. ලංකාවේ ජෛව විවිධත්වය ඉන්දියාවට ටිකක් සමාන වුනාට ලංකාවට ආවේණික විශේෂ දහස් ගණනක් තියෙනෙවා.

එත් මේ විශේෂත්වය තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. යුරෝපයෙන් මේ විදිහටම බ්‍රිතාන්‍ය දූපත් වෙන් වෙනවා. ඒ වගේම චීනයෙන් ජපානය වෙන් වෙනවා. මේ දූපත් 3ම ලෝකයේ වැදගත් ජවනිකා රඟපාල තියෙනවා.

හරි. සිංහල බෞද්ධ සංස්කෘතිය පටන් ගන්නේ මහින්දාගමනයෙන් කියල අපිට සලකන්න පුළුවන්. මහින්දාගමනයට කලින් ලංකාවේ දියුණු සංස්කෘතියක් තිබුණු බවට අපි උපකල්පනය කරනවා. එත් ඒ කොච්චර දියුණු සමාජයක්ද කියල හරියටම කියන්න තවම අපි ලග සාක්ෂි මදි. කොහොම වුනත් මහින්දාගමනයෙන් පස්සේ එක දිගට ලියවුනු ඉතිහාසයක් අපිට තියෙනවා. මෙතනින් ආරම්භ වෙච්ච බෞද්ධ සංස්කෘතියසිංහල එහෙමම බටහිර ආක්‍රමණ වලින් විනාශ වෙනකන්.... නෑ. 

කලින් කිව්වා වගේ සංස්කෘතිය සමාජය මත තීරණය වෙන, ඒ නිසා ගතික සංසිද්ධියක්. ඒ අවුරුදු 2000 ඇතුලත එක එක බලපෑම් වලට අපේ සංස්කෘතිය ලක් වුණා. අනුරාධපුර යුගයේම මහායාන බලපෑම් නිසා අපි බෝධිසත්ත්ව සංකල්පය ට පුරුදු වුණා. මුල් කාලේ බුදු රූප නිර්මාණය අකැප දෙයක් කියල සැලකුණේ. ඒ වෙනුවට ඡත්‍රය, බෝධිය, සිරිපතුල වගේ සංකේත වලට තමයි වන්දනා මාන කලේ. එත් මහා ඇලෙක්සැන්ඩර් එක්ක මථුරා වට ආපු ග්‍රීක නිර්මාණ ශිල්පීන් ඇපලෝ දෙවි රුවට සමානව පලවෙනි බුද්ධ රූප නිර්මාණය කළා. අපිත් ඒ ආභාෂයෙන් තමයි  මහමෙව්නාවේ සමාධි පිළිමය, අවුකන පිළිමය වගේ මහා නිර්මාණ කළේ. මේ එක්කම පල්ලව බලපෑම නිසා අපේ හෝඩිය වෙනස් වෙන්න ගත්තා. පොළොන්නරු යුගයේ හින්දු බලපෑම් තදින්ම දකින්න පුළුවන්. සඳකඩ පහණේ ගව රූපය ඉවත් වීම, හින්දු දේව වන්දනාව මේ නිසා අපේ සංස්කෘතියට එකතු වුණා. අපේ කෑම බීම ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් මේ කිසි දෙයක් වෙනස් නොවී තිබුනේ නෑ. 

මීට අවුරුදු 500කට කලින් කුළුබඩු සහ කතෝලිකයන් හොයාගෙන පෙරදිගට ආපු ප්‍රතිකාලුන්[1] ලංකාවටත් ගොඩබහිනවා. එත් එක්කම බටහිර අධිරාජ්‍යවාදයේ බලපෑමට අපි ලක් වෙනවා. පාප් වහන්සේ මුළු ලෝකයම, ඒ කාලේ කතෝලික ලෝක බලවතුන් වෙච්ච  ස්පාඤ්ඤයත් පෘතුගාලයත් අතර බෙදල දෙනවා, බ්‍රසීලය හැර ඇමරිකාව ස්පාඤ්ඤයට, බ්‍රසීලයත්,  නැගෙනහිරත්  පෘතුගාලය ට. ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වුනේ ලාභ ඉපයීම සහ ආගම ප්‍රචාරය. එත් ප්‍රතිකාලුන් එක්ක කරපු හැම සටනක්ම අපි දින්නා. අපි ලන්දේසීන් එක්කත් ඉංග්‍රීසින් එක්කත් අපේ නිදහස වෙනුවෙන් සටන් කළා. එත් කාර්මික විප්ලවයත් එක්ක ආපු ඉංග්‍රීසින් එක්ක අපි විශාල පසු බෑමක හිටියේ. උඩරට ගිවිසුමෙන් ඒ ඔක්කොම අහෝසි වෙලා ගියා. 

බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් විදිහට අපි ඉංග්‍රීසි සංස්කෘතියට යටත් වෙලා හිටියා. ඒ කාලේ ශිෂ්ට සමාජය කියල පිළිගත්තේ වික්ටෝරියානු සංකල්ප. ඉතින් අපිත් ඒ සංකල්ප වලට යට වුණා. කොන්ඩේ රැවුල කපල කලිසම් සපත්තු අඳින පිරිමි, මුළු ඇඟම වැහෙන්න ගවුම් අඳින  ගෑණු, දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධ වූ විවාහය  ඒ සමාජයේ සංකේතය වුණා. මේවා ඉස්සර රජ කාලේ තිබිච්ච සංකල්ප නෙමෙයි. රොබර්ට් නොක්ස් උඩුකය නිරුවතින් හිටපු ගෑණු ගැන ලියල තියනවා[2]. විවාහ බන්ධනය උඩරට හරිම ලිහිල් බැඳීමක්. කැමති වෙලාවක වෙන් වෙන්න විතරක් නෙමෙයි එක ගේ දීග කන්නත් නිදහස තිබුණා.එත් බ්‍රිතාන්‍ය සංකල්ප අපේ සංස්කෘතියට එකතු වුණා. බ්‍රිතාන්‍ය පාලනයත් කෙලින්ම අපේ සංස්කෘතියට බලපෑම් කලා. සිංහල හින්දු අලුත් අවුරුද්ද එකට හොඳ උදාහරණයක්. හින්දු සංස්කෘතියට අනුව අවුරුද්ද “දිවා”, “රාත්‍රී”කියල කල දෙකකට බෙදෙනවා. මහා ශිව රාත්‍රියත්, දිපවාලියත් ඒ අතර සැමරෙනවා. අවුරුදු නිවාඩුව ඉල්ලපු සිංහලයන්ට විතරක් නිවාඩු නොදී ආණ්ඩුව සිංහල හින්දු අලුත් අවුරුද්දක් ප්‍රකාශයට පත් කළා. 

මේ කතාවේ අන්තිමට කියන්න ඕනේ  බෞද්ධ පුනරුදය ගැන.  යටත් විජිත සමයේ බුදු දහම නගාසිටුවීම සඳහා ගත්ත උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට වෙසක් නිවාඩුව අපිට ලැබුනා. වෙසක් උත්සවයේ ගොඩක් අංග නත්තල් උත්සවයෙන් ගත්ත ඒවා. වෙසක් කාඩ්, භක්ති ගීත ඒ අතරින් ප්‍රධානයි. එත් මේවා දැන් වෙසක් උත්සවයේ අනිවාර්ය අංග වෙලා තියෙනවා.[3]

ඉතාම කෙටියෙන් කියපු මේ කතාවේ සාරාංශය වෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය කාලයත් එක්ක එක එක විපර්යාස වලට ලක් වුණා කියන එකයි. මේ කාලය ඇතුලත අපේ සමාජයත් විවිධාකාරයෙන් වෙනස් වීම් වලට ලක් වුණා.

දැන් ගෝලීයකරණයත් එක්ක අපේ සංස්කෘතියට හානි වෙනවලු. පිරිමි කොන්ඩේ, රැවුල වවන එක සෙරෙප්පු දාන එක ගෑණු කොටට අඳින එක, දික්කසාදය අපේ සංස්කෘතිය විනාශ කරන බටහිර සංකල්ප ලු. එත් මෙතන තියෙන්නේ බටහිර සංකල්ප දෙකක් අතර ප්‍රශ්නයක්. අපි තවමත් අර වික්ටෝරියානු සම්මත කර පින්නාගෙන ඉන්න කොට ඒ සම්මත හදුන්වල දීපු බටහිර ජාතින් ඒවා ගොඩේ කයි කියල අයින් කරලා ඉවරයි. 

ගෝලීයකරණය එක්ක අපේ අර කලින් කියපු දූපතක් වීමේ වාසිය අපිට නැති වෙලා තියෙනවා. එත් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි අපේ සමාජයට එකතු කරගන්න ඕනේ අනාගතයට වැදගත් සංකල්ප, තාක්ෂණය.
අපි සිංහල බෞද්ධ සංස්කෘතිය කියල ආරක්ෂා කරන්න හදන්නේ මොකක්ද කියල කල්පනා කරලා බලන්න කාලය  හරි. සංස්කෘතිය ඒකට අනුබද්ධ සමාජයත් එක්කම පරිණාමය වෙන ගතික ප්‍රපංචයක්. ඒක බලෙන් එක තැන තියාගන්න බැහැ. අනිත්‍යතාව ඒ ගැන කියන සංස්කෘතියටත් අදාළ ලෝක ධර්මතාවය ක්.