Monday, April 29, 2013

හරස් කඩ 1


පහුගිය ටිකෙ මේ රටේ පුදුමාකාර සමාජ පෙරලි කිහිපයක් ම සිද්ද වුනා. මේ ඔක්කොටම වගේ උත්ප්‍රේරකයක් වුනේ සමාජ ජාලකරන වෙබ් අඩවි. කෙටියෙන් කිව්වොත්  Facebook සහ ඒ වර්ගයේ අනෙකුත් වෙබ් අඩවි. එත් Facebook වල තමයි වෙඩිපුරම සෙල්ලම් සිද්ද වෙන්නෙ.
ඒ සෙල්ලම් වලට යන්න කලියෙන් Facebook නිසා වෙච්ච සමජ විපර්යාසය දිහා ටිකක් බලන එක වටිනවා.

Facebook කියන්නෙ කලින් කිව්ව වගෙ සමාජ ජාලකරන වෙබ් අඩවියක්. ඒ කියන්නෙ ඒ වෙබ් අඩවි වලින් සපයන සේවාව ගැන. තමන් ගෙ යහලුවන්, පවුලෙ උදවිය එක්ක අන්තර්ජාලයෙන් සම්බන්දතා පවත්වන්න මේ වෙබ් අඩවි උදව් කරනවා. ඒකත් එක්කම තවත් සේවාවන් ගොඩක් මේ අඩවි වලින් සපයනවා. ඒත් මෙතන දි අපි අවධානය  යොමු කරන්නෙ මේ  නිසා සිද්ද වෙන  අපූරු සංසිද්දියකට.  අපේ අදහස් සංකල්ප දෘෂ්ටි වලට අනුගත වෙන අය ව ලොකෙ කොහෙ හිටියත් හොයගන්න, පහසුවෙන් අදහස් හුවමරු කරගන්න දැන් අවස්ථාව සැලසිලා තියෙනවා.

කාට හරි හිතෙන්න පුලුවන් ඒක හොඳ දෙයක් නෙ කියලා. ඇත්තටම ඒක හොඳ දෙයක් තමයි.
ලොකෙ කොහේ හිටියත් එකම අසාවල් තියෙන, එක විදියට හිතන අයට එකතු වෙලා නිර්මාණ කරන්න, සංවාද කරන්න, ඒ දේවල් ලෝකෙත් එක්ක බෙදා ගන්න එක පහසුවෙන් කරන්න පුලුවන්.
 
හැබැයි එතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. ඒ එකතු වෙච්ච නෙට් වර්ක් නැත්නම් ජාල තමන්ගෙ දෘෂ්ටිය තමයි හරි කියල හිතාගෙන වැඩ කරන්න පටන් ගන්නවා. ඒක මේ සමාජ ජාලකරන වෙබ් අඩවි නිසා ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මිනිස්සු කොහොමත් එහෙමයි. තමන්ගේ මතය හරි කියලත් අනිත් අයගේ මත වැරදි කියලත් ස්වභාවික විදිහට අපිට දැනෙනවා.  

හැබැයි මේ අන්තර්ජාල විප්ලවයට කලින් මිනිස්සු අනිත් අයගේ මත ඉවසන්න පුරුදු වෙලා හිටියා. එදිනෙදා ජීවිතයේ එක එක වැඩ කර ගන්න අපිට සමාජයේ එක එක අදහස් දරන අය එක්ක ගනුදෙනු කරන්න සිද්ද වෙනවා.  ඒ හැම නොගැලපෙන අදහසකටම විරුද්ධ වෙන්න ගියොත් මුළු සමාජ පද්ධතියම බිඳ වැටෙනවා.
එත් අන්තර්ජාල විප්ලවය අපිට අපේ සයිබර් අවතාර තුලින් ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා සැබෑ ලෝකේ කොහොම වුනත් සයිබර් අවකාශයේදී අපේ අදහස් කිසිම බයක් නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ එක්කම අනුන්ගේ මත ඉවසන එකත් නැති වෙලා යනවා. 

මේ විදිහට තමන් දරන මතය ට විරුද්ධ අදහස් ඔක්කොම බැහැර කරලා ඒ මතය තවත් සනාථ කරන දේවල් විතරක් පිළිගන්න facebook හරහා හරිම පසුවෙන් පුළුවන්. අනික් අදහස් ඔක්කොම වගේ බැහැර කරන නිසා කිසිම වෙලාවක සංවාදයට ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ මත වලම එල්ලිලා ඉන්නවා. ඒවා පරම සත්‍ය කියල අදහන්න ගන්නවා.

දැන් මෙතනදීත් මේ අය තම තමන් ගේ මත තමන් ළඟ තියාගෙන ඉන්නවනම් ප්‍රශ්නයක් මතුවෙන්නේ නෑ. එත් තමගේ මතය පරම සත්‍ය නිසා ඒ පරම සත්‍ය වෙන අය විශ්වාස නොකරන එක ඒ පරම සත්‍යය  ට අපහාසයක් කියල ඒ මත විශ්වාස නොකරන අය හරව ගන්න කරන උත්සාහය තමයි ප්‍රශ්නෙ. 

හැමෝටම තමන්ගේ ආකල්ප විශ්වාස පිළිගන්න  අයිතිය තියෙනවා. එත් හොඳම දේ විවෘත මනසක් තියාගෙන ඉන්න එක. ඕනම කෙනෙකුට ඕනෑම විදිහකට ඕනෑම දෙයක් අන්තර්ජාලයේ කියන්න පුළුවන්. ගොඩ දෙනෙක් විශ්වාස කරන  නිසාම  ඒ දේවල් ඇත්ත වෙන්නේ නෑ. 

මෙචචර වෙලා මම කතා කලේ හරිම පුළුල් විදිහට. මේ ටික කියවගෙන යනකොට මේ කියන්නේ මොකක් ගැනද කියල තේරෙන්න ඇති නෙ. එත් පොඩ්ඩක් ආයේ හිතල බලන්න. ඒ හිතුවේ ඔයාල දරන අදහස් වලට විරුද්ධ අය ගැන නේද? අපි අපි හැසිරන හැටි ගැන පොඩ්ඩක් හිතල වැඩ කරනවා නම් මේ ප්‍රශ්න ගොඩක් අපිට වලක්වගන්න තිබුනා.





No comments:

Post a Comment