Wednesday, May 1, 2013

හරස් කඩ 2



මීට කලින් ලිපියෙන් දැනට පවතින සමාජ වාතාවරණය ට හේතු වෙච්ච facebook ගැන කෙටියෙන් සඳහන් කළා. ඒ අපේ ඊළඟ සංවාදයට පසුබිම සකස් කර ගන්නයි. 

දැන් අපි උදාහරණයක් බලමු. මෙතැනදී මම මගේ මතය ප්‍රකාශ කරනවා වෙනුවට අපි එල්බ  ගෙන ඉන්න මත ගැන විවෘත සංවාදයක් ගොඩ නගන්න මම උත්සහ කරනවා.. එත් මේ ලියන්නේ මම නිසා මගේ දෘෂ්ටි කෝණයෙන් ගොඩක් දේවල් මැනෙන බව මුලින්ම කියල ඉන්න ඕනේ. අපිට 100%ක්  අපේ සංකල්ප වලින් වියුක්ත වෙන්න බෑනේ.

සංස්කෘතිය. මේ දවස් වල හැමතැනම ඇහෙන වචනයක්.  එත් මෙච්චර මේ කියවන්නේ මොකක් ගැනද කියල පොඩ්ඩක් හොයල බලන එක වටිනවා. ඉතින් ඕනෑම දෙයක් ගැන හොයන්න අපිට උදව් කරන ගූගල් සංස්කෘතිය ගැන සිංහල විකිපීඩියා ලිපිය හොයල දුන්නා. මේ එකෙන් ගත්ත නිර්වචනයක්.


“සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත් පරිණතවූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.” -බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී.ටයිලර් (1861)

Culture කියන වචනය ගූගල් අර්ථ දක්වන්නේ මෙහෙමයි.

Noun
The arts and other manifestations of human intellectual achievement regarded collectively.

නාමපදය: සමස්තයක් ලෙස ගන්නා ලද මානව ප්‍රඥාවේ ජයග්‍රහණ වන කලාව සහ අනෙකුත් ප්‍රකාශන වල එකතුවයි.

කෙටියෙන් කියනවනම් මේ කියන්නේ සමාජයක් විදිහට අපි අපේ ලෝකය දිහා බලන හැටි ගැනයි.
මෙතැන තවත් කාරණයක් ඉස්මතු කරන්න ඕනේ. ඒ සංස්කෘතිය සමාජයක් ඇසුරෙන් තමා අර්ථ දැක්වෙන්නේ.

එතකොට සමාජය කියන්නේ මොකක්ද? සිංහලවිකිපීඩියා ලිපියේ පැහැදිලි නිර්වචනයක් නැති  වුනත් මේ උපුටා ගැනීම සාධාරණයි කියල මම හිතනවා.

“සමාජය වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි...” “ ...පුද්ගලයන් අතර වර්ධනය වන සමාජ සමිබන්ධතාවල එකතුවක් ලෙස සමාජය සැලකිය හැකි බවය”

මෙතැනදී ත් ඉස්මතු කරන්න ඕනේ කාරණයක් තියෙනවා. සමාජය ගතික ප්‍රපංචයක් කියන සංකල්පය.

හරි. අපි මෙච්චර වෙලා අපි මේ කතා කරන්නේ මොකක් ගැනද කියල පැහැදිලි කර ගැනීමක් කලේ. මම කලින් කියල තියෙනවා වගේ අපි කතා කරන්නේ මොකක් ගැනද කියල ඉස්සෙල්ලම නිරවුල් කරගන්න ඕනේ. මේ ගැන වැඩි දුර කියවන්න මම විකිපීඩියා ලිපි එකතු කරලා තියෙනවා.

අපිට හැමදාම ඇහෙන දෙයක් තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ වෙනවා/කරනවා කියන එක.
මොකක්ද මේ කියන්නේ? සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ මොකක්ද? සංස්කෘතියක් විනාශ කරන්න පුලුවන්ද?

සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කතා කරන්න කලින් අපි අපේ රට ගැන කතාකරන්න ඕනේ. ලංකාව දූපතක්. පොඩිකාලේ ඉඳල පුංචි අපේ රට කියල කිව්වට ලංකාවට වඩා ලොකු දූපත් තියෙන්නේ 24යි. අනික් එක ලංකාව ඉන්දීය අර්ධද්වීපයේ මහද්වීපික තටකයේ ම  තමයි පිහිටලා  තියෙන්නේ. ඒ කියන්නෙ මේ ලා නිල් පාට නොගැඹුරු මුහුද. මේ නිසා ප්‍රථමික මුහුදු යාත්‍රා වලින් වුනත් පහසුවෙන් ඉන්දීය අර්ධද්වීපය එක්ක අපිට ගනු දෙනු කරන්න පුළුවන්. 


මේ කරණා නිසා ලංකාව හරිම විශේෂ දූපතක්. ඉන්දීය ආභාෂය ලබන්න තරම් ලඟින් හිටියත් අපි දූපතක් නිසා ඉන්දියාවෙන් වෙන් වෙලා ඉන්න පුළුවන්. ගහ කොළ සතා සිව්පාවා දිහා බැලුවොත් මේ බව අපිට හොඳට පැහැදිලි වෙනවා. ලංකාවේ ජෛව විවිධත්වය ඉන්දියාවට ටිකක් සමාන වුනාට ලංකාවට ආවේණික විශේෂ දහස් ගණනක් තියෙනෙවා.

එත් මේ විශේෂත්වය තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. යුරෝපයෙන් මේ විදිහටම බ්‍රිතාන්‍ය දූපත් වෙන් වෙනවා. ඒ වගේම චීනයෙන් ජපානය වෙන් වෙනවා. මේ දූපත් 3ම ලෝකයේ වැදගත් ජවනිකා රඟපාල තියෙනවා.

හරි. සිංහල බෞද්ධ සංස්කෘතිය පටන් ගන්නේ මහින්දාගමනයෙන් කියල අපිට සලකන්න පුළුවන්. මහින්දාගමනයට කලින් ලංකාවේ දියුණු සංස්කෘතියක් තිබුණු බවට අපි උපකල්පනය කරනවා. එත් ඒ කොච්චර දියුණු සමාජයක්ද කියල හරියටම කියන්න තවම අපි ලග සාක්ෂි මදි. කොහොම වුනත් මහින්දාගමනයෙන් පස්සේ එක දිගට ලියවුනු ඉතිහාසයක් අපිට තියෙනවා. මෙතනින් ආරම්භ වෙච්ච බෞද්ධ සංස්කෘතියසිංහල එහෙමම බටහිර ආක්‍රමණ වලින් විනාශ වෙනකන්.... නෑ. 

කලින් කිව්වා වගේ සංස්කෘතිය සමාජය මත තීරණය වෙන, ඒ නිසා ගතික සංසිද්ධියක්. ඒ අවුරුදු 2000 ඇතුලත එක එක බලපෑම් වලට අපේ සංස්කෘතිය ලක් වුණා. අනුරාධපුර යුගයේම මහායාන බලපෑම් නිසා අපි බෝධිසත්ත්ව සංකල්පය ට පුරුදු වුණා. මුල් කාලේ බුදු රූප නිර්මාණය අකැප දෙයක් කියල සැලකුණේ. ඒ වෙනුවට ඡත්‍රය, බෝධිය, සිරිපතුල වගේ සංකේත වලට තමයි වන්දනා මාන කලේ. එත් මහා ඇලෙක්සැන්ඩර් එක්ක මථුරා වට ආපු ග්‍රීක නිර්මාණ ශිල්පීන් ඇපලෝ දෙවි රුවට සමානව පලවෙනි බුද්ධ රූප නිර්මාණය කළා. අපිත් ඒ ආභාෂයෙන් තමයි  මහමෙව්නාවේ සමාධි පිළිමය, අවුකන පිළිමය වගේ මහා නිර්මාණ කළේ. මේ එක්කම පල්ලව බලපෑම නිසා අපේ හෝඩිය වෙනස් වෙන්න ගත්තා. පොළොන්නරු යුගයේ හින්දු බලපෑම් තදින්ම දකින්න පුළුවන්. සඳකඩ පහණේ ගව රූපය ඉවත් වීම, හින්දු දේව වන්දනාව මේ නිසා අපේ සංස්කෘතියට එකතු වුණා. අපේ කෑම බීම ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් මේ කිසි දෙයක් වෙනස් නොවී තිබුනේ නෑ. 

මීට අවුරුදු 500කට කලින් කුළුබඩු සහ කතෝලිකයන් හොයාගෙන පෙරදිගට ආපු ප්‍රතිකාලුන්[1] ලංකාවටත් ගොඩබහිනවා. එත් එක්කම බටහිර අධිරාජ්‍යවාදයේ බලපෑමට අපි ලක් වෙනවා. පාප් වහන්සේ මුළු ලෝකයම, ඒ කාලේ කතෝලික ලෝක බලවතුන් වෙච්ච  ස්පාඤ්ඤයත් පෘතුගාලයත් අතර බෙදල දෙනවා, බ්‍රසීලය හැර ඇමරිකාව ස්පාඤ්ඤයට, බ්‍රසීලයත්,  නැගෙනහිරත්  පෘතුගාලය ට. ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වුනේ ලාභ ඉපයීම සහ ආගම ප්‍රචාරය. එත් ප්‍රතිකාලුන් එක්ක කරපු හැම සටනක්ම අපි දින්නා. අපි ලන්දේසීන් එක්කත් ඉංග්‍රීසින් එක්කත් අපේ නිදහස වෙනුවෙන් සටන් කළා. එත් කාර්මික විප්ලවයත් එක්ක ආපු ඉංග්‍රීසින් එක්ක අපි විශාල පසු බෑමක හිටියේ. උඩරට ගිවිසුමෙන් ඒ ඔක්කොම අහෝසි වෙලා ගියා. 

බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් විදිහට අපි ඉංග්‍රීසි සංස්කෘතියට යටත් වෙලා හිටියා. ඒ කාලේ ශිෂ්ට සමාජය කියල පිළිගත්තේ වික්ටෝරියානු සංකල්ප. ඉතින් අපිත් ඒ සංකල්ප වලට යට වුණා. කොන්ඩේ රැවුල කපල කලිසම් සපත්තු අඳින පිරිමි, මුළු ඇඟම වැහෙන්න ගවුම් අඳින  ගෑණු, දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධ වූ විවාහය  ඒ සමාජයේ සංකේතය වුණා. මේවා ඉස්සර රජ කාලේ තිබිච්ච සංකල්ප නෙමෙයි. රොබර්ට් නොක්ස් උඩුකය නිරුවතින් හිටපු ගෑණු ගැන ලියල තියනවා[2]. විවාහ බන්ධනය උඩරට හරිම ලිහිල් බැඳීමක්. කැමති වෙලාවක වෙන් වෙන්න විතරක් නෙමෙයි එක ගේ දීග කන්නත් නිදහස තිබුණා.එත් බ්‍රිතාන්‍ය සංකල්ප අපේ සංස්කෘතියට එකතු වුණා. බ්‍රිතාන්‍ය පාලනයත් කෙලින්ම අපේ සංස්කෘතියට බලපෑම් කලා. සිංහල හින්දු අලුත් අවුරුද්ද එකට හොඳ උදාහරණයක්. හින්දු සංස්කෘතියට අනුව අවුරුද්ද “දිවා”, “රාත්‍රී”කියල කල දෙකකට බෙදෙනවා. මහා ශිව රාත්‍රියත්, දිපවාලියත් ඒ අතර සැමරෙනවා. අවුරුදු නිවාඩුව ඉල්ලපු සිංහලයන්ට විතරක් නිවාඩු නොදී ආණ්ඩුව සිංහල හින්දු අලුත් අවුරුද්දක් ප්‍රකාශයට පත් කළා. 

මේ කතාවේ අන්තිමට කියන්න ඕනේ  බෞද්ධ පුනරුදය ගැන.  යටත් විජිත සමයේ බුදු දහම නගාසිටුවීම සඳහා ගත්ත උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට වෙසක් නිවාඩුව අපිට ලැබුනා. වෙසක් උත්සවයේ ගොඩක් අංග නත්තල් උත්සවයෙන් ගත්ත ඒවා. වෙසක් කාඩ්, භක්ති ගීත ඒ අතරින් ප්‍රධානයි. එත් මේවා දැන් වෙසක් උත්සවයේ අනිවාර්ය අංග වෙලා තියෙනවා.[3]

ඉතාම කෙටියෙන් කියපු මේ කතාවේ සාරාංශය වෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය කාලයත් එක්ක එක එක විපර්යාස වලට ලක් වුණා කියන එකයි. මේ කාලය ඇතුලත අපේ සමාජයත් විවිධාකාරයෙන් වෙනස් වීම් වලට ලක් වුණා.

දැන් ගෝලීයකරණයත් එක්ක අපේ සංස්කෘතියට හානි වෙනවලු. පිරිමි කොන්ඩේ, රැවුල වවන එක සෙරෙප්පු දාන එක ගෑණු කොටට අඳින එක, දික්කසාදය අපේ සංස්කෘතිය විනාශ කරන බටහිර සංකල්ප ලු. එත් මෙතන තියෙන්නේ බටහිර සංකල්ප දෙකක් අතර ප්‍රශ්නයක්. අපි තවමත් අර වික්ටෝරියානු සම්මත කර පින්නාගෙන ඉන්න කොට ඒ සම්මත හදුන්වල දීපු බටහිර ජාතින් ඒවා ගොඩේ කයි කියල අයින් කරලා ඉවරයි. 

ගෝලීයකරණය එක්ක අපේ අර කලින් කියපු දූපතක් වීමේ වාසිය අපිට නැති වෙලා තියෙනවා. එත් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි අපේ සමාජයට එකතු කරගන්න ඕනේ අනාගතයට වැදගත් සංකල්ප, තාක්ෂණය.
අපි සිංහල බෞද්ධ සංස්කෘතිය කියල ආරක්ෂා කරන්න හදන්නේ මොකක්ද කියල කල්පනා කරලා බලන්න කාලය  හරි. සංස්කෘතිය ඒකට අනුබද්ධ සමාජයත් එක්කම පරිණාමය වෙන ගතික ප්‍රපංචයක්. ඒක බලෙන් එක තැන තියාගන්න බැහැ. අනිත්‍යතාව ඒ ගැන කියන සංස්කෘතියටත් අදාළ ලෝක ධර්මතාවය ක්. 


Monday, April 29, 2013

හරස් කඩ 1


පහුගිය ටිකෙ මේ රටේ පුදුමාකාර සමාජ පෙරලි කිහිපයක් ම සිද්ද වුනා. මේ ඔක්කොටම වගේ උත්ප්‍රේරකයක් වුනේ සමාජ ජාලකරන වෙබ් අඩවි. කෙටියෙන් කිව්වොත්  Facebook සහ ඒ වර්ගයේ අනෙකුත් වෙබ් අඩවි. එත් Facebook වල තමයි වෙඩිපුරම සෙල්ලම් සිද්ද වෙන්නෙ.
ඒ සෙල්ලම් වලට යන්න කලියෙන් Facebook නිසා වෙච්ච සමජ විපර්යාසය දිහා ටිකක් බලන එක වටිනවා.

Facebook කියන්නෙ කලින් කිව්ව වගෙ සමාජ ජාලකරන වෙබ් අඩවියක්. ඒ කියන්නෙ ඒ වෙබ් අඩවි වලින් සපයන සේවාව ගැන. තමන් ගෙ යහලුවන්, පවුලෙ උදවිය එක්ක අන්තර්ජාලයෙන් සම්බන්දතා පවත්වන්න මේ වෙබ් අඩවි උදව් කරනවා. ඒකත් එක්කම තවත් සේවාවන් ගොඩක් මේ අඩවි වලින් සපයනවා. ඒත් මෙතන දි අපි අවධානය  යොමු කරන්නෙ මේ  නිසා සිද්ද වෙන  අපූරු සංසිද්දියකට.  අපේ අදහස් සංකල්ප දෘෂ්ටි වලට අනුගත වෙන අය ව ලොකෙ කොහෙ හිටියත් හොයගන්න, පහසුවෙන් අදහස් හුවමරු කරගන්න දැන් අවස්ථාව සැලසිලා තියෙනවා.

කාට හරි හිතෙන්න පුලුවන් ඒක හොඳ දෙයක් නෙ කියලා. ඇත්තටම ඒක හොඳ දෙයක් තමයි.
…ලොකෙ කොහේ හිටියත් එකම අසාවල් තියෙන, එක විදියට හිතන අයට එකතු වෙලා නිර්මාණ කරන්න, සංවාද කරන්න, ඒ දේවල් ලෝකෙත් එක්ක බෙදා ගන්න එක පහසුවෙන් කරන්න පුලුවන්.
 
හැබැයි එතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. ඒ එකතු වෙච්ච නෙට් වර්ක් නැත්නම් ජාල තමන්ගෙ දෘෂ්ටිය තමයි හරි කියල හිතාගෙන වැඩ කරන්න පටන් ගන්නවා. ඒක මේ සමාජ ජාලකරන වෙබ් අඩවි නිසා ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මිනිස්සු කොහොමත් එහෙමයි. තමන්ගේ මතය හරි කියලත් අනිත් අයගේ මත වැරදි කියලත් ස්වභාවික විදිහට අපිට දැනෙනවා.  

හැබැයි මේ අන්තර්ජාල විප්ලවයට කලින් මිනිස්සු අනිත් අයගේ මත ඉවසන්න පුරුදු වෙලා හිටියා. එදිනෙදා ජීවිතයේ එක එක වැඩ කර ගන්න අපිට සමාජයේ එක එක අදහස් දරන අය එක්ක ගනුදෙනු කරන්න සිද්ද වෙනවා.  ඒ හැම නොගැලපෙන අදහසකටම විරුද්ධ වෙන්න ගියොත් මුළු සමාජ පද්ධතියම බිඳ වැටෙනවා.
එත් අන්තර්ජාල විප්ලවය අපිට අපේ සයිබර් අවතාර තුලින් ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා සැබෑ ලෝකේ කොහොම වුනත් සයිබර් අවකාශයේදී අපේ අදහස් කිසිම බයක් නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ එක්කම අනුන්ගේ මත ඉවසන එකත් නැති වෙලා යනවා. 

මේ විදිහට තමන් දරන මතය ට විරුද්ධ අදහස් ඔක්කොම බැහැර කරලා ඒ මතය තවත් සනාථ කරන දේවල් විතරක් පිළිගන්න facebook හරහා හරිම පසුවෙන් පුළුවන්. අනික් අදහස් ඔක්කොම වගේ බැහැර කරන නිසා කිසිම වෙලාවක සංවාදයට ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ මත වලම එල්ලිලා ඉන්නවා. ඒවා පරම සත්‍ය කියල අදහන්න ගන්නවා.

දැන් මෙතනදීත් මේ අය තම තමන් ගේ මත තමන් ළඟ තියාගෙන ඉන්නවනම් ප්‍රශ්නයක් මතුවෙන්නේ නෑ. එත් තමගේ මතය පරම සත්‍ය නිසා ඒ පරම සත්‍ය වෙන අය විශ්වාස නොකරන එක ඒ පරම සත්‍යය  ට අපහාසයක් කියල ඒ මත විශ්වාස නොකරන අය හරව ගන්න කරන උත්සාහය තමයි ප්‍රශ්නෙ. 

හැමෝටම තමන්ගේ ආකල්ප විශ්වාස පිළිගන්න  අයිතිය තියෙනවා. එත් හොඳම දේ විවෘත මනසක් තියාගෙන ඉන්න එක. ඕනම කෙනෙකුට ඕනෑම විදිහකට ඕනෑම දෙයක් අන්තර්ජාලයේ කියන්න පුළුවන්. ගොඩ දෙනෙක් විශ්වාස කරන  නිසාම  ඒ දේවල් ඇත්ත වෙන්නේ නෑ. 

…මෙචචර වෙලා මම කතා කලේ හරිම පුළුල් විදිහට. මේ ටික කියවගෙන යනකොට මේ කියන්නේ මොකක් ගැනද කියල තේරෙන්න ඇති නෙ. එත් පොඩ්ඩක් ආයේ හිතල බලන්න. ඒ හිතුවේ ඔයාල දරන අදහස් වලට විරුද්ධ අය ගැන නේද? අපි අපි හැසිරන හැටි ගැන පොඩ්ඩක් හිතල වැඩ කරනවා නම් මේ ප්‍රශ්න ගොඩක් අපිට වලක්වගන්න තිබුනා.

…
…
…




…

අධි යථාර්තය

සිහින
වියරු වැටී
උඩු දුවන
නිද්‍රාව
අන්ධකාරය තුළින්
මතු වෙන
මායාව
විනිවිදින
ආයුධක
සටහන
.
.
මායායුධ
මායාව බිඳින්නට



Saturday, October 6, 2012

කැරකීම



හැම දේ කින්ම අයින් වෙල මම නිද්‍රාවක ට පළා ගියේ ලෝකෙ කැරෙකෙන පැත්තට කැරකෙන්න මගේ තිබ්බ අකමැත්ත හින්ද යි. අහපු දැකපු ගොඩක් දේ ඒ තීරණය ගන්න දායක වුණා. මට ලෝකෙ කැරකෙන පැත්ත පාලනය කරන්න බැරි වුණා වගේ ම මට මම කැරකෙන පැත්තත් පාලනය කරන්න බැරි වුණා. වැරැද්ද කාගෙද කියල හොයන එකේ කිසිම ප්‍රයෝජනයක් නෑ. ලෝකෙ ගැන වගේ ම මම ගැන ත් ඇති වුණු ඒ කලකිරීම හින්ද මට කරන්න පුලුවන් එකම දේ මම කළා. මම ලියන එක නැවැත්තුවා. මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගත්ත වගේ වැඩක් තමයි. ඒත් මාව දන්න කට්ටිය කියාවි ඒක මම කරන ජාතියෙ වැඩක් කියලා.

ඒත් ඒ නිද්‍රාව ඇත්තට ම වංචාවක්, ඒ බව ලෝකෙත් මමත් දැනගෙන හිටියා...

ඇස් කන් වහගෙන හිටියත් ලෝකෙ කැරෙකෙන වග මට දැනුනා. කිසි දෙයක් වෙනස් වුණේ නෑ. මම ඔහේ හිටියා.

මිනිස්සු හරි අමුතු සත්තු ජාතියක්...

මට ටික වෙලාවකට මමත් ඒ විශේෂයෙ කියල අමතක වුණා.

අමතක  කළා...

Wednesday, March 21, 2012

නිද්‍රාව





කැරකෙනා ලෝකය 
උඩ
නිසලව 
බලා සිටි 
මම,
කරන්න ට කිසිත්
නැති තැන
දෑස් පියා ගතිමි,
ලෝකය කැරකෙනා හැටි දැක...

Friday, September 23, 2011

අතුරුදන් වීම



කැන්ටිමට එන කොට එකත් පහු වෙලා. ඉස්කෝලෙ ඇවිදල ඇවිදල මාර මහන්සියි. කැන්ටිමේ අන්තිම බත් එක අරගෙන කන්න ලෑස්ති වුණා විතරයි කුමරි ඇවිත් අහන්න ගත්ත දිනුක කෝ කියල. මම ඉතින් ආපු ගමන් හින්ද බත් කටක් කටේ තියාගෙනම මම ගත් කටටම  දන්නෑ කිව්ව.කුමරි අනික් පැත්තට ගස්සල යන ගමන් කියාගෙන ගියා අන්න ලකුණු දාල කියල. මමත් ඉතිං පුළුවං ඉක්මනට කෑම එක කාල උඩට දිව්ව ලකුණු බලන්න. මම නම් පාස්. ඒත් ලකුණු හරිම විකාර විදිහකට තියෙන්නෙ. පනස් ගානක් ෆේල්. මම ලකුණු බලල ආයෙ පහළට එන්න ගත්ත විතරයි විකිය කෝල් කරල අහන්න ගත්ත දිනුක ව දැක්කද කියල. මම ඌටත් නෑ කියල කෙටියෙන් උත්තර දුන්න. ආයෙ පහළට බැස්ස ගමන් කොහෙන්දෝ කඩා පාත් වෙච්ච කළුව ත් ගත් කටටම ඇහුවෙ දිනුක කෝ කියල. මට එපා වුනා. කරදරේ. කළුවට උත්තර දෙන්නෙ නැතුව මම දිනුකට කෝල් එකක් ගත්තෙ හොඳවැයින් දෙකක් තුනක් කියන්න. ඒත් ඩයල් කරන කොටම හච් එකේ අක්ක කියන්න ගත්ත ප්‍රතිචාරයක් නොමැත කියල. මොන මඟුලක්ද, ඕක ඔය වගේ වැඩ කරනව, ගෑණි එක්ක බුක් ෆෙයා යන්න ඇතිය කියල මම කළුවට විස්තරේ කියල මාරු වුණා බැට් එකක් දෙන්න තිබ්බ හින්ද.

රෑ මම බැට් එක ඉවර කරල රෑ කෑම ගන්න යනකොට තමයි ඊළඟ කෝල් එක ආවෙ. පේරාදෙණියෙන්. වැඩේ ටිකක් බරපතලයි වගේ. මූ කොහේ මකබෑවිලාද? ගෙදර වත් ගිහිල්ලද බලන්න ඕනෙ හින්ද මම විකියට කෝල් කරා ගෙදර නොම්මරේ තියෙනවනම් කතා කරල බලන්න කියන්න. මම කෑම අරන් එන කොට විකිය ආයෙ කෝල් කළා. ගෙදර මිනිස්සු හිතන්නෙ ඌ තාම මෙහෙ කියලලු. විකිය යි සිතුමයි උගෙ අනිත් යාළුවන්ට කෝල් කරල බලන්නම් කිව්ව, ඌ එහෙම කොහෙ හරි වත් ගිහිල්ලද බලන්න. මම තවත් පාරක් දිනුකගෙ නොම්මරේ ඩයල් කලා. තාමත් හච් එකේ අක්ක තමයි කතා කරන්නෙ. මම එහෙමම  බුවා ටයි කළුවටයි සිද්දිය කිව්ව. උනුත් කිව්වෙ හෙට කොහෙන් හරි ආරංචියක් හම්බවෙයි කියල. 

පහුවදා උදේ මම නැඟිටින්න පරක්කු වුණා. වැඩට යනකොටත් පරක්කුයි. ඒ අස්සෙ ඊය ගියෙ නැති එකටත් කේස් එකක් වැටිල. ඔය ජරමර අස්සෙ මට දවල් වෙනකන් විස්තර මුකුත් හොයන්න හම්බුනේ නෑ. දවාලෙ තිබ්බ පැමිණීම අනිවාර්ය කුකක්‍රි එකකට ත් මිනිහ ඇවිල්ල නෑ. මේ වෙනකොට හැබැයි හැමෝම කතා වෙනව දිනුක ජයකොඩි ගේ අතුරුදන් වීම ගැන. දැන් පැය විසිහතරක් පැනල හින්ද බුවා ල කට්ටිය බොරැල්ල පොලීසියෙ පැමිණිල්ලක් දාල ආව. ඒත් පොලිසියෙන් වැඩි දෙයක් බල්ලපොරොත්තු වෙන්න බැහැ කියල මතයක් ලොකුවට පැතිරෙන්න අරන්. ඒකට ප්‍රධාන හේතුව අපේ ප්‍රධාන සැකකරු, එස්. බී.. අපේ සටන වෙනුවෙන් රජය ට බිලි වුණු වීරයෙක් කියල තමයි නිල වශයෙන් කතාව පැතිරෙන්නෙ.

දවස් දෙකක් ගියෙ නෑ, අභිරහස් ලෙස අතුරුදන් වූ දිනුක  ජයකොඩි ගේ අනුවේදනීය කතාව කණා මැදිරි රාත්‍රියෙත් කියන්න ගත්තා. රට පුරාම එක එක මත පැතිරෙන්න ගත්තා. ඒත් ඇත්තටම මොකද වුණේ කියල කවුරුවත් දැනන් හිටියෙ නෑ.

කට්ටිය එක එක මත ඉදිරිපත් කළා. ආණ්ඩුවෙන් කිව්වේ මේක ශිෂ්‍ය සංවිධාන වල කුමන්ත්‍රනයක් කියල. මෙලහකට මිනිහ නොර්වේ වල සැප ගන්නවා ඇති කියල.  ශිෂ්‍ය සංවිධාන වලින් කිව්වේ මේක ආණ්ඩුවේ පැහර ගැනීමක් කියල. ආණ්ඩුවේ මැරයෝ තිරිසන් වධ දෙනවා ඇති කියල. ඒ දවස් වල හොස්ටල් එක ගාව නවතාල තිබ්බ සුදු වෑන්  එකක් ගැනත් ලොකු සැකයක් තිබ්බ. අපේ පාලක පන්තියෙන් මේ ගැන කිසිම නිල ප්‍රකාශයක් නිකුත් කලේ නැති වුනත් තැන තැන කතා වෙන දේ වලින් අපිට තේරුනේ මේ ගැන ඒ අය  සතුටු වෙනව කියලයි.

අපි කළු පටි බැන්ද. ඉස්සරහ ගේට්ටුව ගාව තව උද්ගෝෂණයක් කලා. මාධ්‍ය සාකච්චාවක් තිබ්බා.ලොකු ෆොටෝ එකක් කොමන් රූම් එකේ එල්ලලා ගුණ නුගුණ සිහි කරා. රටේ හැමෝම කතා කරන මාතෘකාවක් කළා. ඒත් කිසිම ආරංචියක් ලැබුනේ නෑ . 

දවස් තුනක් යද්දි  හැමෝටම ඔක්කොම අමතක වුණා. කණාමැදිරි රාත්‍රියෙන් වෙනත් අවාසනාවට ඇත්ත කතාවක් කියන්න ගත්තා. මිනිස්සු   වෙන වෙන දේවල් ගැන කතා කරන්න ගත්තා . අපිට කළු පටි බඳින එක  තහනම් කරලා වැඩට යන්න කිව්වා. දවස් දෙක තුනකට පස්සේ අපිත් ආයෙ  පාඩම්  කරන්න පටන් ගත්තා . ලෝකේ දිගටම කැරකුනා. 

ටික දවසකට පස්සේ ආරඔචියක් ආවා. ආරුක්කු නවයේ  පාලම උඩ  නිකමට නතර වුන කෝච්චියක හිටපු අය පාලම අයිනේ අමුත්තක් දැකල හොයල බලල තියෙනවා. එතන ලස්සනට පිළිවෙලට එක පේලියට ෆෝන් එකකුයි පර්ස් එකකුයි ලෙන්සුවකුයි තිබිල තියෙනවා. වෙලාවට ඒ ටිකේ වැහැල නෑ. තුනම අපේ දිනුක ජයකොඩි ගේ. ෆෝන් එකේ සිම් එක තිබුනට අනික් හැම දෙයක්ම මකලා. පර්ස් එකේ රුපියල් 200ක් තිබිල තියෙනවා. අනික් දේවල් එහෙමම තිබිල තියෙනවා. ලේන්සුවේ ලොකු නිල් තීන්ත පැල්ලමක් තිබිල තියෙනවා. 


ඕක තමයි දැනට කතාව. ඒත් ඉස්සරහට තව මොනව දැන ගන්න ලැබෙයි ද දන්නෙ නෑ.


මෙහි සඳහන් නම් ගම් හා සිද්ධි මනඃකල්පිතයි

Wednesday, August 17, 2011

සාපේක්ෂ නිශ්චලතාව


මිනිස්සු දුවනවා
දුවන වේගෙට ලෝකෙත් කැරකිලා
හීන අමතක වෙලා
හැම දේම වෙනස් වෙලා
මම බලාගෙන ඉන්නවා...
හිටපු තැනම...