Wednesday, May 1, 2013

හරස් කඩ 2



මීට කලින් ලිපියෙන් දැනට පවතින සමාජ වාතාවරණය ට හේතු වෙච්ච facebook ගැන කෙටියෙන් සඳහන් කළා. ඒ අපේ ඊළඟ සංවාදයට පසුබිම සකස් කර ගන්නයි. 

දැන් අපි උදාහරණයක් බලමු. මෙතැනදී මම මගේ මතය ප්‍රකාශ කරනවා වෙනුවට අපි එල්බ  ගෙන ඉන්න මත ගැන විවෘත සංවාදයක් ගොඩ නගන්න මම උත්සහ කරනවා.. එත් මේ ලියන්නේ මම නිසා මගේ දෘෂ්ටි කෝණයෙන් ගොඩක් දේවල් මැනෙන බව මුලින්ම කියල ඉන්න ඕනේ. අපිට 100%ක්  අපේ සංකල්ප වලින් වියුක්ත වෙන්න බෑනේ.

සංස්කෘතිය. මේ දවස් වල හැමතැනම ඇහෙන වචනයක්.  එත් මෙච්චර මේ කියවන්නේ මොකක් ගැනද කියල පොඩ්ඩක් හොයල බලන එක වටිනවා. ඉතින් ඕනෑම දෙයක් ගැන හොයන්න අපිට උදව් කරන ගූගල් සංස්කෘතිය ගැන සිංහල විකිපීඩියා ලිපිය හොයල දුන්නා. මේ එකෙන් ගත්ත නිර්වචනයක්.


සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත් පරිණතවූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.” -බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී.ටයිලර් (1861)

Culture කියන වචනය ගූගල් අර්ථ දක්වන්නේ මෙහෙමයි.

Noun
The arts and other manifestations of human intellectual achievement regarded collectively.

නාමපදය: සමස්තයක් ලෙස ගන්නා ලද මානව ප්‍රඥාවේ ජයග්‍රහණ වන කලාව සහ අනෙකුත් ප්‍රකාශන වල එකතුවයි.

කෙටියෙන් කියනවනම් මේ කියන්නේ සමාජයක් විදිහට අපි අපේ ලෝකය දිහා බලන හැටි ගැනයි.
මෙතැන තවත් කාරණයක් ඉස්මතු කරන්න ඕනේ. ඒ සංස්කෘතිය සමාජයක් ඇසුරෙන් තමා අර්ථ දැක්වෙන්නේ.

එතකොට සමාජය කියන්නේ මොකක්ද? සිංහලවිකිපීඩියා ලිපියේ පැහැදිලි නිර්වචනයක් නැති  වුනත් මේ උපුටා ගැනීම සාධාරණයි කියල මම හිතනවා.

සමාජය වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි...” “ ...පුද්ගලයන් අතර වර්ධනය වන සමාජ සමිබන්ධතාවල එකතුවක් ලෙස සමාජය සැලකිය හැකි බවය

මෙතැනදී ත් ඉස්මතු කරන්න ඕනේ කාරණයක් තියෙනවා. සමාජය ගතික ප්‍රපංචයක් කියන සංකල්පය.

හරි. අපි මෙච්චර වෙලා අපි මේ කතා කරන්නේ මොකක් ගැනද කියල පැහැදිලි කර ගැනීමක් කලේ. මම කලින් කියල තියෙනවා වගේ අපි කතා කරන්නේ මොකක් ගැනද කියල ඉස්සෙල්ලම නිරවුල් කරගන්න ඕනේ. මේ ගැන වැඩි දුර කියවන්න මම විකිපීඩියා ලිපි එකතු කරලා තියෙනවා.

අපිට හැමදාම ඇහෙන දෙයක් තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ වෙනවා/කරනවා කියන එක.
මොකක්ද මේ කියන්නේ? සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේ මොකක්ද? සංස්කෘතියක් විනාශ කරන්න පුලුවන්ද?

සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කතා කරන්න කලින් අපි අපේ රට ගැන කතාකරන්න ඕනේ. ලංකාව දූපතක්. පොඩිකාලේ ඉඳල පුංචි අපේ රට කියල කිව්වට ලංකාවට වඩා ලොකු දූපත් තියෙන්නේ 24යි. අනික් එක ලංකාව ඉන්දීය අර්ධද්වීපයේ මහද්වීපික තටකයේ ම  තමයි පිහිටලා  තියෙන්නේ. ඒ කියන්නෙ මේ ලා නිල් පාට නොගැඹුරු මුහුද. මේ නිසා ප්‍රථමික මුහුදු යාත්‍රා වලින් වුනත් පහසුවෙන් ඉන්දීය අර්ධද්වීපය එක්ක අපිට ගනු දෙනු කරන්න පුළුවන්. 


මේ කරණා නිසා ලංකාව හරිම විශේෂ දූපතක්. ඉන්දීය ආභාෂය ලබන්න තරම් ලඟින් හිටියත් අපි දූපතක් නිසා ඉන්දියාවෙන් වෙන් වෙලා ඉන්න පුළුවන්. ගහ කොළ සතා සිව්පාවා දිහා බැලුවොත් මේ බව අපිට හොඳට පැහැදිලි වෙනවා. ලංකාවේ ජෛව විවිධත්වය ඉන්දියාවට ටිකක් සමාන වුනාට ලංකාවට ආවේණික විශේෂ දහස් ගණනක් තියෙනෙවා.

එත් මේ විශේෂත්වය තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. යුරෝපයෙන් මේ විදිහටම බ්‍රිතාන්‍ය දූපත් වෙන් වෙනවා. ඒ වගේම චීනයෙන් ජපානය වෙන් වෙනවා. මේ දූපත් 3ම ලෝකයේ වැදගත් ජවනිකා රඟපාල තියෙනවා.

හරි. සිංහල බෞද්ධ සංස්කෘතිය පටන් ගන්නේ මහින්දාගමනයෙන් කියල අපිට සලකන්න පුළුවන්. මහින්දාගමනයට කලින් ලංකාවේ දියුණු සංස්කෘතියක් තිබුණු බවට අපි උපකල්පනය කරනවා. එත් ඒ කොච්චර දියුණු සමාජයක්ද කියල හරියටම කියන්න තවම අපි ලග සාක්ෂි මදි. කොහොම වුනත් මහින්දාගමනයෙන් පස්සේ එක දිගට ලියවුනු ඉතිහාසයක් අපිට තියෙනවා. මෙතනින් ආරම්භ වෙච්ච බෞද්ධ සංස්කෘතියසිංහල එහෙමම බටහිර ආක්‍රමණ වලින් විනාශ වෙනකන්.... නෑ. 

කලින් කිව්වා වගේ සංස්කෘතිය සමාජය මත තීරණය වෙන, ඒ නිසා ගතික සංසිද්ධියක්. ඒ අවුරුදු 2000 ඇතුලත එක එක බලපෑම් වලට අපේ සංස්කෘතිය ලක් වුණා. අනුරාධපුර යුගයේම මහායාන බලපෑම් නිසා අපි බෝධිසත්ත්ව සංකල්පය ට පුරුදු වුණා. මුල් කාලේ බුදු රූප නිර්මාණය අකැප දෙයක් කියල සැලකුණේ. ඒ වෙනුවට ඡත්‍රය, බෝධිය, සිරිපතුල වගේ සංකේත වලට තමයි වන්දනා මාන කලේ. එත් මහා ඇලෙක්සැන්ඩර් එක්ක මථුරා වට ආපු ග්‍රීක නිර්මාණ ශිල්පීන් ඇපලෝ දෙවි රුවට සමානව පලවෙනි බුද්ධ රූප නිර්මාණය කළා. අපිත් ඒ ආභාෂයෙන් තමයි  මහමෙව්නාවේ සමාධි පිළිමය, අවුකන පිළිමය වගේ මහා නිර්මාණ කළේ. මේ එක්කම පල්ලව බලපෑම නිසා අපේ හෝඩිය වෙනස් වෙන්න ගත්තා. පොළොන්නරු යුගයේ හින්දු බලපෑම් තදින්ම දකින්න පුළුවන්. සඳකඩ පහණේ ගව රූපය ඉවත් වීම, හින්දු දේව වන්දනාව මේ නිසා අපේ සංස්කෘතියට එකතු වුණා. අපේ කෑම බීම ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් මේ කිසි දෙයක් වෙනස් නොවී තිබුනේ නෑ. 

මීට අවුරුදු 500කට කලින් කුළුබඩු සහ කතෝලිකයන් හොයාගෙන පෙරදිගට ආපු ප්‍රතිකාලුන්[1] ලංකාවටත් ගොඩබහිනවා. එත් එක්කම බටහිර අධිරාජ්‍යවාදයේ බලපෑමට අපි ලක් වෙනවා. පාප් වහන්සේ මුළු ලෝකයම, ඒ කාලේ කතෝලික ලෝක බලවතුන් වෙච්ච  ස්පාඤ්ඤයත් පෘතුගාලයත් අතර බෙදල දෙනවා, බ්‍රසීලය හැර ඇමරිකාව ස්පාඤ්ඤයට, බ්‍රසීලයත්,  නැගෙනහිරත්  පෘතුගාලය ට. ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වුනේ ලාභ ඉපයීම සහ ආගම ප්‍රචාරය. එත් ප්‍රතිකාලුන් එක්ක කරපු හැම සටනක්ම අපි දින්නා. අපි ලන්දේසීන් එක්කත් ඉංග්‍රීසින් එක්කත් අපේ නිදහස වෙනුවෙන් සටන් කළා. එත් කාර්මික විප්ලවයත් එක්ක ආපු ඉංග්‍රීසින් එක්ක අපි විශාල පසු බෑමක හිටියේ. උඩරට ගිවිසුමෙන් ඒ ඔක්කොම අහෝසි වෙලා ගියා. 

බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් විදිහට අපි ඉංග්‍රීසි සංස්කෘතියට යටත් වෙලා හිටියා. ඒ කාලේ ශිෂ්ට සමාජය කියල පිළිගත්තේ වික්ටෝරියානු සංකල්ප. ඉතින් අපිත් ඒ සංකල්ප වලට යට වුණා. කොන්ඩේ රැවුල කපල කලිසම් සපත්තු අඳින පිරිමි, මුළු ඇඟම වැහෙන්න ගවුම් අඳින  ගෑණු, දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධ වූ විවාහය  ඒ සමාජයේ සංකේතය වුණා. මේවා ඉස්සර රජ කාලේ තිබිච්ච සංකල්ප නෙමෙයි. රොබර්ට් නොක්ස් උඩුකය නිරුවතින් හිටපු ගෑණු ගැන ලියල තියනවා[2]. විවාහ බන්ධනය උඩරට හරිම ලිහිල් බැඳීමක්. කැමති වෙලාවක වෙන් වෙන්න විතරක් නෙමෙයි එක ගේ දීග කන්නත් නිදහස තිබුණා.එත් බ්‍රිතාන්‍ය සංකල්ප අපේ සංස්කෘතියට එකතු වුණා. බ්‍රිතාන්‍ය පාලනයත් කෙලින්ම අපේ සංස්කෘතියට බලපෑම් කලා. සිංහල හින්දු අලුත් අවුරුද්ද එකට හොඳ උදාහරණයක්. හින්දු සංස්කෘතියට අනුව අවුරුද්ද “දිවා”, “රාත්‍රී”කියල කල දෙකකට බෙදෙනවා. මහා ශිව රාත්‍රියත්, දිපවාලියත් ඒ අතර සැමරෙනවා. අවුරුදු නිවාඩුව ඉල්ලපු සිංහලයන්ට විතරක් නිවාඩු නොදී ආණ්ඩුව සිංහල හින්දු අලුත් අවුරුද්දක් ප්‍රකාශයට පත් කළා. 

මේ කතාවේ අන්තිමට කියන්න ඕනේ  බෞද්ධ පුනරුදය ගැන.  යටත් විජිත සමයේ බුදු දහම නගාසිටුවීම සඳහා ගත්ත උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට වෙසක් නිවාඩුව අපිට ලැබුනා. වෙසක් උත්සවයේ ගොඩක් අංග නත්තල් උත්සවයෙන් ගත්ත ඒවා. වෙසක් කාඩ්, භක්ති ගීත ඒ අතරින් ප්‍රධානයි. එත් මේවා දැන් වෙසක් උත්සවයේ අනිවාර්ය අංග වෙලා තියෙනවා.[3]

ඉතාම කෙටියෙන් කියපු මේ කතාවේ සාරාංශය වෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය කාලයත් එක්ක එක එක විපර්යාස වලට ලක් වුණා කියන එකයි. මේ කාලය ඇතුලත අපේ සමාජයත් විවිධාකාරයෙන් වෙනස් වීම් වලට ලක් වුණා.

දැන් ගෝලීයකරණයත් එක්ක අපේ සංස්කෘතියට හානි වෙනවලු. පිරිමි කොන්ඩේ, රැවුල වවන එක සෙරෙප්පු දාන එක ගෑණු කොටට අඳින එක, දික්කසාදය අපේ සංස්කෘතිය විනාශ කරන බටහිර සංකල්ප ලු. එත් මෙතන තියෙන්නේ බටහිර සංකල්ප දෙකක් අතර ප්‍රශ්නයක්. අපි තවමත් අර වික්ටෝරියානු සම්මත කර පින්නාගෙන ඉන්න කොට ඒ සම්මත හදුන්වල දීපු බටහිර ජාතින් ඒවා ගොඩේ කයි කියල අයින් කරලා ඉවරයි. 

ගෝලීයකරණය එක්ක අපේ අර කලින් කියපු දූපතක් වීමේ වාසිය අපිට නැති වෙලා තියෙනවා. එත් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි අපේ සමාජයට එකතු කරගන්න ඕනේ අනාගතයට වැදගත් සංකල්ප, තාක්ෂණය.
අපි සිංහල බෞද්ධ සංස්කෘතිය කියල ආරක්ෂා කරන්න හදන්නේ මොකක්ද කියල කල්පනා කරලා බලන්න කාලය  හරි. සංස්කෘතිය ඒකට අනුබද්ධ සමාජයත් එක්කම පරිණාමය වෙන ගතික ප්‍රපංචයක්. ඒක බලෙන් එක තැන තියාගන්න බැහැ. අනිත්‍යතාව ඒ ගැන කියන සංස්කෘතියටත් අදාළ ලෝක ධර්මතාවය ක්. 



 සටහන්
[1] පෘතුගීසීන් කියනවට වඩා මම ප්‍රතිකාලුන් කියන්න කැමතියි.

…[2] දේශපාලන සිරකරුවෙක් වෙච්ච නොක්ස් බොරු කියන්න ඇති කියලත් මතයක් තියෙනවා. එත් අපි ට නොක්ස්ට සැකයේ වාසිය දෙන්න වෙනවා.

…[3] වෙස්මූණු සහ ඔළුබක්කන් නැටීම සහ බුද්ධාලම්බන ප්‍රීතිය අතර සම්බන්ධය නම් මට තාමත්  ප්‍රෙහේලිකවක්.



1 comment: