Wednesday, July 6, 2011

මිනිස්සු i

මිනිස්සු හරිම අමුතු ජාතියක්...
කතාව පටන් ගන්න ඕනෙ මිනිසා දේශපාලන සත්ත්වයෙක් ය කියන කතාවෙන්. අපි හැමෝම අහල තිබුණ ඇත්තටම මොකක්ද ඔය කතාවෙ තේරුම?  හැබැයි චූටි කාලෙ අපේ තාත්ත ආසාවෙන් ටීවි එකේ දේශපාලන ප්‍රවෘත්ති බලද්දි ළඟට වෙලා හිටපු එක ඇරෙන්න ඔය ගැන විග්‍රහ කරන්න මට ඇති සුදුසුකමක් නම් නෑ. ඒත් රටේ ලෝකෙ වෙන එක එක සිද්ධි දිහා බලන් ඉන්න කොට මට ත් නිකමට හිතුන කයියක් දෙන්න.

මීට අවුරුදු දහ දාහකට විතර කලින් තමයි මිනිස්සු එඬේර යුගය අත ඇරල ස්ථිර ජනාවාස හදාගෙන ගොවි යුගය ආරම්භ කරන්නෙ. එතකං මහා තැනිතලා වල විසිරිලා හිටපු කට්ටිය ගොවිතැනට සුදුසු සශ්‍රීක ගංගා නිම්න වල රැස් වෙන්න ගත්ත. සමාජ ක්‍රමයක් බිහි වෙන්න ගත්ත. හැබැයි ඒත් එක්කම කට්ටියට තේරෙන්න ගත්ත ඉස්සර වගේ හැමෝටම ඇති තරම් ගොවි බිම්, හරක-බාන, වතුර, කොටින්ම කිව්වොත් සම්පත් නැති විත්තිය.  ඔන්න පළවෙනි ප්‍රශ්නෙ: අසීමිත අවශ්‍යතා හමුවේ සම්පත් වල සීමිත බව...

ඉතිං ඔය සීමිත සම්පත් ටික කට්ටිය පුලු පුලුවං විදිහට අයිති කර ගත්ත. මොනා වුණත් ජීවත් වෙන්න ඔය ටික ඕනෙ නෙ. ඊට පස්සෙ බලාගෙන ගියා ම සමහරු වැඩිපුර අයිති කරගෙන. දෙ‍වෙනි  ප්‍රශ්නෙ: සීමිත සම්පත් වල අසමාන ව්‍යාප්තිය...

ඔන්න දැන් ලොකු ප්‍රශ්නය ක්. සම්පත් සීමිත වුණා වගේ නෙමෙයි, කවුරුවත් කොහොමද එහෙම වැඩිපුර අයිති කර ගන්නෙ? මේක ඇත්තටම පවතින සමාජ ක්‍රමයට ම තර්ජනයක්.
සරල විසඳුම, ප්‍රචණ්ඩත්වය.
ඒත්  ප්‍රචණ්ඩත්වයෙන් ගොඩක් දුර යන්න බෑ නෙ. පැවැත්මක් නෑ.
ඊට වඩා හොඳ විසඳුමක් දේශපාලනය.
ඒ කියන්නෙ සම්පත් වල විෂම ව්‍යාප්තිය පැහැදිලි කරල දෙන එක.

සම්පත් වල විෂම ව්‍යාප්තිය කියන්නෙ සරලවම ටික දෙනෙක් සම්පත් වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන එකට. ඒ ටික දෙනා එහෙම කරන්නෙ ඇයි කියන එක තමයි දේශපලනය කියන්නෙ.

එදා මෙදා තුර ඒක ට එක එක කයි දීල තියෙනවා.
උදාහරණයක් ගත්තොත් "දෙවියන්" කියන්නෙ එහෙම හොඳ කයියක්.
මැවුම්කාර ලෝක පාලක දෙවියන් වහන්සේ ගේ නියෝජිතයන් ට එහෙම ටිකක් වැඩිපුර සම්පත් තිබ්බයි කියල වැරද්දක් කියන්න බෑනෙ.

ඌර්, කීෂ්, ලගාෂ්, නිප්පූර් වගේ මෙසපොතේමියානු පෞර රාජ්‍ය වල වුණේ මේක තමයි. නගරයේ බලය තිබුණෙ පූජක පන්තිය අතේ.
නයිල් නදී ශිෂ්ටචාරය පැත්තට යනකොට පාලකයා දේවත්වය ලබනවා. උදා සහ සන්ධ්‍යා තරුව වෙන මහා පාරාවෝ කියල ඒ පාලක පදවියේ නම වෙනස් වෙනවා.

දැන් මේ එන්න එන්න සංවිධානය වෙන සමාජය ට පේනවා වටපිටාවෙ තියන සම්පත් වෙන වෙන කට්ටිය පාවිච්චි කරන බව. කලින් කිව්ව වගේ වැඩි වැඩියෙන් සම්පත් අයිති කර ගන්න ඕනෙ හින්ද අර සරල විසඳුම, ඒ කිව්වෙ ප්‍රචණ්ඩත්වය ආයෙමත් කරළියට එනවා. යුද්ධය පටන් ගන්නවා.

යුද්ධ කරන්න නම් ඒක ට හමුදාවක් ඕනෙ. ඒ හමුදාව මෙහෙයවන්න නායකයෙක් ඕනෙ. ඒ නායකයා ශක්තිමත් ම, දක්ෂ ම සටන් කරු වෙන්න පුලුවන්. නැත්නම් කපටි ම  උපාය-මාර්ග ශිල්පියා වෙන්න පුලුවන්. කොහොම වුනත් යුද්ධයෙන් අයිති කර ගන්න සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නෙ හමුදා ප්‍රධානිය ට තමයි.

මේ විදිහට  දේව වරමින් හරි යුධ බලයෙන් හරි ඒ ඒ පාලකයන් ට අසීමිත බලයක් ලැබෙනවා. මේ පාලන ක්‍රමයට නමක් දෙනවා ස්වාධිකාරීතාව Despotism කියල.


මම මේ ඉතාමත් සරල ව ඉතාමත් වේගයෙන් ඉදිරිපත් කලේ මගේ දැනුම ට අනුව මිනිස් සමාජ ක්‍රමයේ ඉතිහාසය. කතාව තවම ඉවර නෑ. ඒත් මේ ටික ටයිප් කරන්නත් දවස් හතරක් ගිය හින්ද ඉතිරි ටික වෙලා තියෙන හැටියට තව ටික දවසකින් ජාලගත කරන්නම්.  

2 comments:

  1. සම්පත් සීමිත නෑ.ප්‍රශ්නෙ ආවෙ හැමෝටම සම්පත් බෙදිල ගියාම උන්නතිකාමින්ට පොරවල් වෙන්න විදිහක් නැතුව ගිය එක.ඒක නිසා සම්පත් හිඟතාවක් ඇති කළා.සම්පත් ප්‍රමාණය ජනගහනයෙන් බෙදල බැලුවොත් හැමෝටම ඇතිවෙන්න තියෙනවා.වැඩේ තියෙන්නෙ ටික දෙනෙක් තමන්ට අවශ්‍ය ප්‍රමාණෙට වඩා ගොඩ ගහගෙන ඒ තුලින් සිවිල් බලයක් නිර්මාණය කරගෙන තියෙන එක.මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදියට සම්පත් හිඟයක් උත්පාදනය වෙනවා...

    ඒ ටික ඇරුනම ඉතුරු ටිකනං අමූලික ඇත්ත....

    ReplyDelete
  2. මොන මට්ටමේ ඉඳන් බැලුවත් සම්පත් වල හිඟතාවයක් පේන්නෙ මිනිස්සුන්ට කවදාවත් ලද දේ කින් සතුටු වෙන්න බැරි හින්ද යි.
    ඒක එදා මෙදා තුර හැමදාම දඩමීමා කරගත්තා.

    ඒත් මම එකඟයි සම්පත් වල විෂම ව්‍යප්තිය කෘත්‍රිම ව නිර්මාණය කළ එකක් ය කියන එකට.

    ReplyDelete